සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 17ක් සපිරේ

සැප්තැම්බර් 15, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 13 වන දින සිය 17 වන සංවත්සරය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සමරන ලදී.

මෙම සංවත්සරයට සමගාමීව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට, එහි වත්මන් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සෙත් පතා මෝල්පේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී සම්බුද්ධ පූජාවක් සහ පිරිත් සජ්ජායනා පිංකමක් ඇතුළු වැඩසටහන් රැසක් පවත්වන ලදී.

1980 දශකයේ මැද භාගයේදී එවකට පැවති යුධමය තත්වය හේතුවෙන් තර්ජනයට ලක් වූ ගම්මාන ආරක්‍ෂා කිරීම සඳහා ආරම්භ කළ ‘ග්‍රාමාරක්ෂක සේවය’ පසුව 2006 දී ‘සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නමින් ප්‍රතිසංවිධානය කර ප්‍රතිව්‍යුහගත කරන ලද අතර, එහි සාමාජිකයින්ට විශ්‍රාම ප්‍රතිලාභ ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලදී.

පසුගිය යුධ සමයේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545ක් ජීවිත පරිත්‍යාග කර ඇති අතර, 423 දෙනෙක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත.