ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

සැප්තැම්බර් 18, 2023

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ මඟපෙන්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැප්තැම්බර් 16 දින කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි මීට සමාන වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ස්වභාවධර්මයට පිරිසිදුකම සහ සංශුද්ධතාවය ගෙන ඒම සඳහා වන පොදු ගෝලීය එකඟතාවයක් වන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ මෙම දිනය මෙවර ප්ලාස්ටික් භාවිතය නිසා සාගරය හා එහි සම්පත් වල සුන්දරත්වය කෙරෙහි බලපාන ආකාරය පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් සමරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වන වෙරළ තීරයේ ආකර්ශනීය ආරක්‍ෂා කර ගැනීම සඳහා ටොන් ගණනක් ප්ලාස්ටික්, පොලිතින් සහ අනෙකුත් ඝන අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීය.