කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස්
ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක්‍
නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි

සැප්තැම්බර් 18, 2023

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් තිදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අද දින (2023 සැප්තැම්බර් 17) පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

හම්බන්තොට ධීවර වරායෙන්, 2023 සැප්තැම්බර් මස 02 වන දින ධීවරයින් තිදෙනෙකු (03) රැගත් OFRP-A-1604 TLE නමැති ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී, එම යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් එම මුහුදු සීමාවේදී පෙරලී ආපදාවට පත්ව ඇත. එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV INTERSEA VOYAGER’ නමැති වෙළඳ නෞකාව විසින් ආපදාවට පත් මෙම යාත්‍රාව නිරීක්ෂණය කර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇත. එහිදී, ආපදාවට පත් ධීවරයින් මුදාගන්නා ලෙස එම නෞකාව වෙත උපදෙස් ලබා දී ඇති චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමටද කර ඇත.

ඒ අනුව, ධීවරයන් තිදෙනා හම්බන්තොට වරාය ආසන්නයට රැගෙන ඒමට ‘MV INTERSEA VOYAGER’ නෞකාව වෙත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා ‘MV INTERSEA VOYAGER’ නමැති වෙළඳ නෞකාව මඟින් රැගෙන ආ ධීවරයින් තිදෙනා (03) මෙලෙස ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ පමණක් යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයන් තුළ ද ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.

අනුග්‍රහය - www.navy.lk