වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක භටයින්
සිය ගණනක් අත්වැල් බැඳගනී

සැප්තැම්බර් 27, 2023

ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිතායතන ප්‍රධානීන්ගේ සමුළුව වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් වෙරළාරක්‍ෂක කලාප හතරක් පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (සැප් 23) පවත්වන ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිතායතන ප්‍රධානීන්ගේ සමුළුවෙහි සමුද්‍ර පරිසර ආරක්‍ෂණ කණ්ඩායමේ සභාපතිත්වය දරයි. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා වෙරළාරක්‍ෂක බලකායේ උතුරු, නැගෙනහිර, දකුණ සහ බටහිර ප්‍රදේශවලින් වෙරළාක්‍ෂක නිලධාරීන් සිය ගණනක් සහභාගී වූ බව එහි සඳහන් වේ.

පාරිසරික ආරක්‍ෂාව සහ මෙරට වෙරළබඩ ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාක්‍ෂක බලකායේ  කැපවීම මෙම පරිසර ආරක්‍ෂණ වැඩසටහන මගින් පෙන්නුම් කරයි.

මෙම වැඩසටහනේදී අපද්‍රව්‍ය සහ කැළිකසල විශාල ප්‍රමාණයක් වෙරළ තීරයෙන් එක්රැස් කර ගැනීමට හැකි වි ඇති අතර, එමගින් සාගර හා වෙරළ දූෂණය අවම කර ගැනීමට හැකි වූ බවත්, ශ්‍රී ලංකා වෙරළාක්‍ෂක බලකාය සඳහන් කරයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනි ඉවතලන අපද්‍රව්‍ය තුලින් සමුද්‍ර පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල කරන අතර,  ප්ලාස්ටික් අපද්‍රව්‍ය  ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත් වි  සාගර සතුන්ට ශරීරගත වි අවසානයේ ඒවා ආහාර දාමයටද ඇතුළු වේ. සෑම වසරකම ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් සාගර පරිසරයට ඇතුළු වන අතර, එමඟින් සාගර හා මිනිස් ජීවිතවලටද දැඩි පාරිසරික හා සෞඛ්‍ය තර්ජනයක් එල්ල වේ.