අයහපත් කාලගුණය තවදුරටත්

සැප්තැම්බර් 29, 2023
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
  • කළු, ගිං සහ නිල්වලා ගංඟාවලට ගංවතුර අනතුරු ඇඟවීම්.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

හෙට දිනයේ (සැප් 30)  බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුවේ නවතම  අනාවැකියේ සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය වන මිලිමීටර් 120 කළුතර දිස්ත්‍රික්කයේ කුකුළේගඟෙන් වාර්තා විය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40 - 45 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

සුළං නිරිත දෙසින් හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30 - 40 අතර, එය පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්‍ෂා කළ හැක.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත සහ නිවිතිගල යන ප්‍රදේශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශ වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය වෙතත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  2 වන මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත යන ප්‍රදේශවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටියත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල වෙතත්, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන සහ අතුරලිය ප්‍රදේශවලටත් 1 වන මට්ටමේ (කහ) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් නිල්වලා, කළු සහ ගිං ගංඟාවල ගංවතුර අවදානම් ඇඟවීමක්ද නිකුත් කර තිබේ.

මේ අතර, සුළු ගංවතුර සහ හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට නාවික හමුදාව සහන කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.