කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 25 ක මුදල් පරිත්‍යාගයක්

දෙසැම්බර් 17, 2020

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා සාමාජිකයින්ට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් දෙසැම්බර් 15 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදී.

ආරක්ෂක ලේකම්ගේ උපදෙස් අනුව කඩිනමින් භාණ්ඩ මිලදී ගැනීමට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙම පරිත්‍යාගය ලබා දී ඇත.

මහජන චීන සමුහාණ්ඩුව වෙනුවෙන් ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය තුරන්කිරීම සදහා චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සදහා විවිධ අයුරින් සිය සහයෝගය ලබා දී තිබේ.