මාතර දිස්ත්‍රික්කයේ තැන්නපිටහේන කන්ද නාය යයි. ජීවිත හානි නොමැත

ඔක්තෝම්බර් 06, 2023

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස දියලපේ ගම්මානයේ පිහිටි තැන්නපිටහේන කන්ද ඊයේ (ඔක්. 05) පස්වරු 5 ට පමණ නාය යෑමට ලක්විය.

මෙම සිදුවීමට ප්‍රථමයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ මෙම ස්ථානය නිරික්‍ෂණය කර ඇති අතර, නායයෑම් සුන්බුන් ගලා යන මාර්ගයේ සහ තැන්පත් වීමේ අවදානම් කලාපයේ පිහිටි නිවාස 6ක පදිංචිකරුවන් ස්ථිර වශයෙන් සහ තවත් නිවාස 3ක පදිංචිකරුවන් දැනුවත් කර ඔවුන් තාවකාලිකව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මාතර දිස්ත්‍රික් නිලධාරී සී.එස්. මැණික්පුර මහතා පැවසීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උපදෙස් අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ජීවිත හානි හෝ පූර්ණ නිවාස හානි කිසිවක් නොමැතිව සිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට හැකි විය. තවද මෙම නිලධාරින්ගේ කඩිනම් ක්‍රියාකලාපය අමාත්‍යතුමාගේ පැසසුමට ලක්විය.

සිද්ධියෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට සහ ඉදිරි ආරක්‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

මේ අතර, රට තුළ අඛණ්ඩව පවතින වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ආපදා හෝ හදිසි අවස්ථා පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ.