“ඉන්දියානු සාගර සංගමය තුළ ආපදා අවදානම් කළමනාකරණය කිරීමෙහිලා ජපානය සුවිශේෂී භූමිකාවක් උසුලයි” - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ඔක්තෝම්බර් 11, 2023
  • ඉන්දියානු සාගර වටද්දර සංගමය (Indian Ocean Rim Association) මෙම සාගර කලාපයේ ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදුකරයි.

ඉන්දියන් සාගර කලාපයේ කාර්ය බහුලම නාවික මාර්ගය ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව සමුද්‍රීය විපත්වලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ හේතුවෙන් විශේෂයෙන්ම සමුද්‍රීය පරිසරයට වන අවදානම් කළමනාකරණයට නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 10) සවස කොළඹ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පැවති ආපදා අවදානම් කළමනාකරණය සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ජපානයේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය.

ඉන්දියානු සාගර වටද්දර සංගමය තුළ ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජපානය විවිධ අයුරින් සිය දායකත්වය සපයයි. දැනුම හුවමාරු කරගැනීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, තාක්‍ෂණික හුවමාරු වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ කලාපීය සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීම හරහා ජපානය ඉන්දියානු සාගර සංගමයෙහි සාමාජික රටවල, ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ගරු කොමුරා මසහිරො (Komura Masahiro) මැතිතුමා ජපානයේ රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සම්මන්ත්‍රණයේ වැදගත්කම අවධාරණය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි සාමාජික රටවල් සහ හවුල්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම තුළින් ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා මේ ඔස්සේ වේදිකාවක් නිර්මාණය වන බව ප්‍රකාශ කළේය.

තවද, ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ජපානයේ නායකත්ව භූමිකාව මෙන්ම, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය සඳහා ජපාන වෙරළාරක්‍ෂක බලකාය විසින් දක්වන සහාය අමාත්‍යවරයා අගය කළ අතර, ඉන්දියානු සාගර කලාපය තුළ ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජපාන රජයේ අතිශය වැදගත් මැදිහත්වීම අවධාරණය කළේය. එමෙන්ම 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ජපාන රජය ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය ද ඔහු කෘතවේදීව සිහිපත් කළේය.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ, ශ්‍රී ලංකා කාර්යාලයේ යමඩා තෙත්සුය (Yamada Tetsuya), සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඒ.ජේ.එම්. ගුණසේකර සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස් රණසිංහ ද මෙම සාකච්ඡාවට දායක වූහ.

ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රවිනාථ ආර්යසිංහ විසින් මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව සිදුකළේය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්‍ෂ සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ විසින් සාකච්ඡාව මෙහෙයවන ලදි.

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ සිසුන් ද සහභාගී විය.