ශ්‍රී ලංකා නාවික හමුදාව ථූපාරාමය පුදබිමේ ප්‍රතිආශ්‍රැති
ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

ඔක්තෝම්බර් 19, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අනුරාධපුර ථූපාරාමයේ ස්ථාපිත කරන ලද නව ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය බදාදා (ඔක් 18) විවෘත කරන ලදි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ධානපතීන්ගේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදාව විසින් ඉදිකරන ලද මෙම නව ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් සඳහා දෛනිකව පිරිසිදු පානීය ජලය ලීටර් 15000ක් ලබාදීමේ හැකියාව පවතින බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඓතිහාසික ථූපාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද නව ව්‍යපෘති පරිශ්‍රය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි. තවද, මෙම ව්‍යපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකර ස්ථාපනය කරන ලද 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය බව නාවික හමුදා මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරි අතිගෞරවාර්හ පල්ලේගම හේමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ, ථුපාරාම චෛත්‍යරාමාධිකාරි, ශාස්ත්‍රපති පූජ්‍යපාද කහල්ලේ ඥානින්ද හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ බැතිමතුන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.