අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෛද්‍ය කඳවුරේදී ලේ පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 19, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍ය කඳවුරේ දෙවන අදියර අද (ඔක් 19) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මීට සමගාමීව, ලේ දන්දීමේ ව්‍යාපාරයක් ද පවත්වන ලද අතර, එහිදී හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් බොහෝ දෙනෙක් ලේ පරිත්‍යාග කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ඔවුන්ගේ රෝගාබාධ හඳුනා ගැනීමේ මූලික වෛද්‍ය පරීක්‍ෂණ සිදුකිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වෛද්‍ය කඳවුරේ පළමු අදියර පසුගියදා (ඔක් 5) පැවැත්විණි.

විධිමත් රෝග නිශ්චයකින් පසු නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් මෙම අවස්ථාව සඳහා වෛද්‍ය පහසුකම් ලබා දෙන ලදි.