ඉන්දියානු නාවික හමුදාවේ අධි තාක්ෂණික සැහැල්ලු
හෙලිකොප්ටරයක් පුහුණුව සඳහා පැමිණේ

ඔක්තෝම්බර් 23, 2023

ඉන්දිය නාවික හමුදාවට අයත් අධි තාක්ෂණික සැහැල්ලු හෙලිකොප්ටරයක් පසුගියදා (ඔක්. 19) ශ්‍රී ලංකාවට ළඟා විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සඳහා නැව් මත හෙලිකොප්ටර් ගොඩ බෑමේ මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගීතාවයේ තවත් එක් කොටසක් ලෙස මෙම සහයෝගීතා පුහුණු වැඩසටහන පැවැත්වෙන අතර, මෙම පුහුණු යෙදවීමේ මූලික අරමුණු වනුයේ ගුවන් හමුදා නියමුවන් ALH හෙලිකොප්ටර් යානය සමඟ හුරු කරවීම සහ එම යානයේ සහය නියමු අත්දැකීම් ලබාදීමයි. මීට අමතරව, ඔවුන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැව් මත ගොඩබෑමේ අත්‍යවශ්‍ය පුහුණුවීම්වල ද නිරත වනු ඇත.

ඉන්දියාවේ නිෂ්පාදිත දැනට ඉන්දියානු නාවික හමුදාවේ භාවිත කෙරෙන මෙම වර්ගයේ හෙලිකොප්ටරයක් පසුගිය වසරේ (2022 මාර්තු 23) මෙවැනිම පුහුණුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පෙර අවස්ථාවේදී ද ගුවන් හමුදා නියමුවන් මෙම යානයේ සහය නියමු පුහුණුව ලැබූ අතර, ඊට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ නැව් මත ගොඩබෑමේ පුහුණුව ලැබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.