ඇමෙරිකානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 28, 2023

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජූලි චන්ග් මැතිණිය පසුගිය සිකුරාදා (ඔක් 27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඇමරිකානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ඇය සමඟ සුහද කතාබහක නිරත විය.

දෙරටෙහි ආරක්‍ෂක සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාව ඉහළ නැංවීම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ඉලක්ක පිළිබඳව ද අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතාරණාරච්චි මහතාද සහභාගි විය.