කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසුවියගෙන් විශිෂ්ට පිහිනුම් දස්කම්

නොවැම්බර් 01, 2023

පසුගියදා පැවැති සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලියේදී වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 පසුපස ආර ඉසව්ව විනාඩි 2:45:69 කින් නිම කර නව වාර්තාවක් පිහිටුවීමට කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ බුද්ධිමා සමාධි දම්සරණී සේනාරත්න ශිෂ්‍යාව සමත් විය.

එමෙන්ම බුද්ධිමා මෙම ශූරතාවලියේ මීටර් 50 සහ මීටර් 100 (පසුපස ආර) ඉසව් දෙකෙන්ම රිදී පදක්කම් දිනා ගත්තාය. දකුණු ආසියානු පිහිනුම් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් පවත්වනු ලබන තේරීම් තරඟාවලියේදී සුවිශේෂී දස්කම් දක්වමින්, ඇය වයස 18 න් පහළ මීටර් 50 සහ මීටර් 200 ඉසව්වලදී රිදී පදක්කම් ද සමගින් මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් කාගේත් අවධානයට ලක් විය.

තවද 2023 බස්නාහිර පළාත් පිහිනුම් ශූරතාවලියේදී ඇය වයස අවුරුදු 18න් පහළ මීටර් 200 (පසුපස ආර) ඉසව්වේ රන් පදක්කම මෙන්ම මීටර් 50 සහ මීටර් 100 (පසුපස ආර) ඉසව්වලින් රිදී පදක්කම් දෙකක් ද දිනා ගෙන ඇත.

බුද්ධිමා 2014 වසරේ සිට මේ දක්වා පැවති ජාතික මට්ටමේ පිහිනුම් තරගවලදී රන් පදක්කම් 10ක් ඇතුළුව මුළු පදක්කම් 24ක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.