ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ කීර්තිය ද සමගින්
ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යලි මව්බිමට

නොවැම්බර් 01, 2023

චීනයේ Hangzhou හි පැවති සිව් වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල-2023  දී පදක්කම් කිහිපයක් දිනාගත් ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක සංචිතය පසු ගිය සඳුදා (ඔක් 30) උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යලි මෙරටට පැමිණියහ.

මෙවර තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ (F-44) පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් දිනාගත් අතර, කවපෙත්ත විසිකිරීමේ (F-63) පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළකායේ සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාරට හිමි වූ බව යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බව මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

මේ අතර පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 පිරිමි (T47) ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩක නායක නැවි එස්.එම්.ඒ.එස්.එම් සුබසිංහ ද එදිනම මෙරටට පැමිණි බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.