මාධ්‍ය නිවේදනය

නොවැම්බර් 07, 2023

ආගමික, රාජ්‍ය සහ වෙනත් ආයතනවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් එම රාජකාරීන්වලට පරිබාහිර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇතිද යන්න වාර්තාවක් කැඳවයි.

ආගමික ස්ථානවල නඩත්තු කටයුතු කිරීම, කෘෂිකාර්මික කටයුතු, අලි වැට නඩත්තු කිරීම සහ විවිධ ආයතනවල යම් යම් රාජකාරීන් සඳහා අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් එම රාජකාරීන්වලට පරිබාහිර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇතිද යන්න කරුණු සොයා බලා විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් රොෂාන් බියන්විල වෙත උපදෙස් ලබාදී ඇත.

තවද, එසේ අනුයුක්ත කිරීම සබැඳිව මේ වනවිට නිකුත් කොට ඇති නියෝග මාලාව සමාලෝචනය කොට යාවත්කාලීන කරන ලෙස ද උපදෙස් ලබාදී ඇති අතර, තමන් අනුයුක්ත වී ඇති රාජකාරියෙන් පරිබාහිර කටයුතුවල නියුතුවන සිවිල් ආරක්‍ෂක භටයින්ගේ සේවය විධිමත් විනය පරීක්‍ෂණයකින් අනතුරුව අත්හිටුවීමට කටයුතු කරන ලෙසට ද තවදුරටත් උපදෙස් ලබාදී ඇත.