ආපදා සහන මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා භටපිරිස් සහාය

නොවැම්බර් 08, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබේ. කාලගුණ අනාවැකිවලට අනුව පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි අතර, ඊට සමගාමීව දිවයින පුරා ගංවතුර සහ පස් කඳු නායයෑමේ සිදුවීම්වල වැඩිවීමක් ද වාර්තා වේ.

එවැනි හදිසි අවස්ථාවලදී ආපදා කළමනාකරණ බලධාරීන්ට සහය ලබාදීමට සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සූදානමින් තබා ඇත.

පසුගිය සඳුදා (නොවැ. 06) බෙරගල, බතලේගොඩ ප්‍රදේශයේදී හපුතලේ - කොළඹ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර විය. මධ්‍යම කඳුකරය අගනුවර හා යාකෙරෙන මෙම මාර්ගය ඔස්සේ රථ වාහන ගමනාගමනයට ඉඩ සලසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් මාර්ගය පිරිසිදු කරන ලදි. තවද, මෙම සිදුවීමට පෙර යුද හමුදා යතුරුපැදි කණ්ඩායමක් මගින් එදින අලුයම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමටද කටයුතු කර ඇති බව යුධ හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

පසුව එම කලාපයේම බොරලන්ද ප්‍රදේශයේ සුළු පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වූ තවත් මාර්ගයක් භට පිරිස් විසින් එදිනම යථාතත්වයට පත්කල බව නිරීක්‍ෂණය විය.

මේ අතර, ගංවතුරින් විපතට පත් නාගවිල්ලුව ප්‍රදේශයේ, බුද්ධි ගාමිණීපුර ගම්මානයේ පදිංචිකරුවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ භටපිරිස් විසින් පිසූ ආහාර පැකට් 1200 ක් ලබා දුන් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

මීට පෙර අවස්ථාවකදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සාමාජිකයින් කණ්ඩායමක් විසින් ගාල්ල, ගිං ගඟ හරහා දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් යට සිරවී තිබු සුන්බුන් ඉවත් කිරීමෙන් ගඟේ ජලය බැස යාමට අවස්ථාව සකස් කර ඇත. මේ සඳහා නාවික හමුදා භටපිරිස්වලට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ද ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.