'අපට අමතක නොවන අපේ මියගිය විරුවන්' ස්මරණය කෙරේ

නොවැම්බර් 12, 2023

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරන ලද ත්‍රිවිධ හමුදා රණවිරු අනුස්මරණ දිනය - 2023 සැමරීමේ උත්සවයට ඊයේ (නොවැ. 11) සහභාගි වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

පළමු හා දෙවන ලෝක යුද සමයේදී මියගිය රණවිරුවන් ඇතුළු ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම උත්සවයේදී රණවිරු ස්මාරකය අභියස ඉදිකල විශේෂ ශත සංවත්සර සමරු ඵලකය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිරාවරණය කල අතර, රණවිරු ස්මාරකයේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද එළිදැක්වීම සිදුවිය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න සහ සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගි විය.