ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ මූලිකත්වයෙන් සිංහල හා දමිළ භාෂා පුහුණු පාඨමාවන් ආරම්භ කරයි

නොවැම්බර් 21, 2023

දමිළ තරුණ තරුණියන් සඳහා ඔඩ්ඩමාවඩි ජාතික පාසලේ පවත්වනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙහි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජී සහභාගී වීය.

සිංහල සහ දමිළ භාෂාව කථනය තුලින් ප්‍රජාවන් අතර මනා අවබෝධය, සංහිඳියාව, සුහදත්වය, සහජීවනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ප්‍රදේශයේ දමිළ කතා කරන තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ විසින් සිංහල භාෂාව ඉගැන්වීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

සිංහල භාෂා පුහුණු ඩිප්ලෝමා පාඨමාලා සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් 290 දෙනෙකු සහභාගී වූ අතර, සාර්ථකව පාඨමාලාව හදාරනු ලැබූ සිසුන් වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් එම ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.

ප්‍රදේශයේ සිංහල සිසුන් සඳහා දමිළ භාෂා දැනුම ලබාදීමේ අරමුණින් සිංහපුර මහා විද්‍යාලයේ සහ නෙළුම්වැව මහා විද්‍යාලයේ දමිළ භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කටයුතු කරනු ලබයි.

රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සමාජයේ අභිවෘද්ධිය සහ අවබෝධය, සංහිඳියාව ඇති කර ගැනීම සඳහා භාෂාවන් දැනගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර භටපිරිස් නියමු ව්‍යපෘතියක් ලෙසින් දමිළ භාශාව ඉගැන්වීමේ ව්‍යාපෘතිය සතියක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතව ඇත. වර්ථමාන සමාජයට අත්‍යාවශ්‍ය මෙවැනි කාලෝචිත වැඩසටහනක් ආරම්භ කිරීම වෙනුවෙන් මඩකලපුව සිවිල් පුරවැසි කමිටුවේ සියලුම සාමාජිකයින් වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සිය කෘතවේදීත්වය පුද කළේය.

උත්සව අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පි යූඑස්පි පීඑස්සි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන් සහ 23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේවවෙන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්, ‘Al-Qimmah’ සංගමයේ මවුලවි එම්එම්එස් හාරෝන් සහ්වි, ඔඩ්ඩමාවඩි ‘Aqeel International Helping Unit’ හි කළමනාකාර අධ්‍යක්‍ෂ ඒ.සි.එම් නියාස්දීන්, ඔඩ්ඩමාවාඩි ජාතික පාසලේ විදුහල්පති එම්ඒ හලීම් ඉසාක්, ඔඩ්ඩමාවාඩි ෆාතිමා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ඒඑල් අබුල් හසන් යන සමත්වරුන් සහ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk