කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත් තත්වයට

නොවැම්බර් 27, 2023

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (නොවැ. 27) සිට ඉදිරි දින කිහිපය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු පළාත්වල ස්ථාන කිහිපයක සවස 02.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර් 60.0 කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් අද දිනයේදී ඇතිවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර  බදාදා (නොවැ. 29) පමණ වන විට එය බටහිර-වයඹ දෙසට ගමන් කර ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී හම්බන්තොට සිට ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හලාවත සිට පුත්තලම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට ඊසාන දිගින් හමන  සුළගේ වේගය පැ.කි.මී. 30-40  වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.