තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

දෙසැම්බර් 05, 2023

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සහ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය එක්ව සංවිධානය කරන ලද තැනැත්තන් වෙළඳාම පිළිබඳව, දිස්ත්‍රික්ක 13 ක් ආවරණය වන පරිදි  ප්‍රාදේශීය ලේකම්වරුන් 39 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (දෙසැ 04) කොළඹ රමාඩා හෝටලයේ දී ආරම්භ කෙරුණු අතර එහිදී ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරම්භක දේශනය සිදු කරන ලදි.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ නියෝජ්‍ය ප්‍රධානී ඇන්ඩෲ ග්‍රේ මහතා ද ආරක්ෂක ලේකම්වරයා සමඟ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් විය.

මෙම තෙදින දැනුවත් කිරීමේ වැඩසටහන විශේෂඥ වෘත්තිකයන් සහ විෂයානුබද්ධ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර, තැනැත්තන් වෙළඳාම පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර නීතිය, තැනැත්තන් වෙළඳාම සහ මිනිස් ජාවාරම අතර වෙනස්කම්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ නව පනත, දූෂණ විරෝධි පනත සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙහි කාර්යභාරය යනාදී මාතෘකා ගණනාවක් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන්, සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු/ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු 60 ක පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.