ශ්‍රී ලංකා හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් සිදු කරන
ප්‍රජා ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට

දෙසැම්බර් 07, 2023

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක මෙහෙයුම් සඳහා අනුගත වෙමින් 4 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් යාපනයේ පිහිටි සිය කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.

4 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියේදී එම බලකායේ යුද හමුදා සාමාජිකයින් 128 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල් රෝගීන් වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කළ බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, මුලතිව් යුද හමුදා සාමාජිකයන්ගේ සංවිධායකත්වයෙන් සහ වව්නියාව දිස්ත්‍රික් මහා රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය සර්වේෂ්වරම් මහතාගේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාන්‍ය වැසියන් 200 දෙනෙකු සහ පාසල් සිසුන් සඳහා 593 වන පාබල බලසේනා පැරණි පරිශ්‍රයේ දී ජංගම අක්ෂි කඳවුරක් පවත්වන ලදි.

 මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය නිෂ්මා රසීක් මහත්මිය ඇතුළුව මුලතිව් සහ වවුනියාව යන රෝහල් දෙකෙහිම සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා සම්බන්ධ විය.

මෙම ජංගම සායනයේදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා රෝගීන් පරීක්ෂා කරනු ලැබූ අතර හඳුනා ගත් රෝගීන් දෙසැම්බර් 11 වන දින එම සැත්කම සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට ද නිර්දේශ කරන ලදී. මීට සමගාමිව එම අවස්ථාවේදී දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමක්ද සිදු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.