අයහපත් කාලගුණය තවදුරටත්

දෙසැම්බර් 18, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (දෙසැ. 18 ) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 100 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශවලට 2 මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන සඳහා 1 මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ගංවතුරින් විපතට පත් ප්‍රජාවන් වෙත යුද හමුදා සහ නාවික හමුදා සහන කණ්ඩායම් විසින් සහාය ලබා දී ඇත.