රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි
භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

ජනවාරී 01, 2024

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ජලයෙන් යටවී ඇති සෝමාවතිය පුදබිමෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ සහ අනෙකුත් පිරිසගේ අවශ්‍යතා සහ සුවදුක් සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ සෝමාවතිය පුදබිමෙහි විහාරාධිපති හිමියන් ඊයේ (ඔක්. 31) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් සෝමාවතිය පුදබිම වෙත ලගා විය.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සෝමාවතී පුදබිමෙහි නේවාසික භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් පිරිසට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් අඛණ්ඩව ගුවනින් සැපයීමේ දුශ්කරතා පවතින බැවින් ඒ සඳහා නාවික හමුදා සහාය ලබාදීමට පොරොන්දු වූ රාජ්‍ය අමාත්‍යතුමා ඊට අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

තවද ගංවතුර තත්ත්වය පහව යාමෙන් අනතුරුව පුදබිම අවට ඇති විය හැකි ඩෙංගු, පාචනය, කොළරාව වැනි පැතිරෙන රෝග වළක්වා ගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක බලකාය මගින් පුදබිම අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සදහා ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි.