සිව්වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය දෙරටේ ආරක්‍ෂක ලේකම්වරුන්ගේ මුලිකත්වයෙන් ඇරඹේ

ජනවාරී 03, 2024
  • ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

සිව්වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය අද (ජනවාරි 3) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අතිශය වැදගත් වූ මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙරට දූත පිරිසේ ප්‍රමුඛත්වය හෙබවූ අතර පාකිස්ථානයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් හමුද් උස් සමාන් ඛාන් (විශ්‍රාමික) විසින් පාකිස්ථානය නියෝජිත දූත පිරිස මෙහෙයවනු ලැබිය.

පසුගිය ආරක්‍ෂක සංවාදයේදී දෙපාර්ශ්වය විසින් ගනු ලැබූ තීරණවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සොයා බැලූ අතර, මෙතෙක් නොවිසඳී ඇති ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්විය. පුහුණු හුවමාරු වැඩසටහන් සඳහා අවස්ථාවන් වැඩි කිරීම, ද්විපාර්ශ්වික ආරක්‍ෂක අභ්‍යාස සිදු කිරීම, අන්‍යෝන්‍ය ආරක්‍ෂක හා සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙන්ම යුධ තාක්‍ෂණික විශේෂඥතාවන් හුවමාරු කර ගැනීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් පෝෂණය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා - පාකිස්ථාන ආරක්‍ෂක සංවාදය සුවිශේෂී වැදගත්කමක් උසුලයි. ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ද මුල් බැසගත් මෙම සංවාදය දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ මූලික පදනමක් බවට විකාශනය වී ඇත.

මෙම සංවාදය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජාතික බුද්ධි ප්‍රධානී ද එක්ව සිටියහ.