ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ආසියානු ශුරතාවලියේදී ආරක්‍ෂක සේවා විද්‍යාල සිසුන්ගෙන් විශිෂ්ට දස්කම්

ජනවාරී 04, 2024

2023 දෙසැම්බර් මස 06 සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති 2023 ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ආසියානු ශුරතා තරගාවලියේ දි කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසු දරු දැරියන් සුවිශේෂී දස්කම් දක්වමින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, බෘනායි, නේපාලය, තුර්කිය සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූ මෙම තරගාවලිය සඳහා  කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ වත්මන් ටයිකොන්ඩෝ ක්‍රීඩා උපදේශක ජාත්‍යන්තර ටයිකොන්ඩෝ විනිසුරු ශිරන් දිල්රුක් ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසු දරු දැරියන් 08 දෙනෙකුද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

එම තරඟාවලියේදී සුවිශේෂී දස්කම් දක්වමින් 15 - 17 වයස් කාණ්ඩයේ පිරිමි කිලෝ ග්‍රැම් 50 ට අඩු බර පන්තිය ඉසව්වේ රන් පදක්කම අදිත රවිරු විසින්ද වයස 17 න් පහළ පිරිමි කිලෝ ග්‍රැම් 50 - 60 බර පන්තිය ඉසව්වේ ලෝකඩ පදක්කම ආලෝක මිහිරාන් විසින්ද වයස 17 න් පහළ ගැහැණු කිලෝ ග්‍රැම් 45 ට අඩු බර පන්තිය ඉසව්වේ ලෝකඩ පදක්කම හිමායා හංසලි විසින්ද වයස 17 න් පහළ ගැහැණු කොළ පටි ශ්‍රේණිය ඉසව්වේ ලෝකඩ පදක්කම සිනදී සදන්‍යා විසින්ද දිනා ගන්නා ලදී.

තරගාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි අති ගරු Miyon Lee මැතිනිය සහ ජාත්‍යන්තර ටයිකොන්ඩෝ සංගමයේ සභාපති ආචාර්ය Chungwon Choue ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.