දිවයිනට සපැමිණි ජපානයේ මුදල් අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍ය
තෙන්නකෝන් මැතිතුමා විසින් පිළිගනී

ජනවාරී 11, 2024

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (ජනවාරි 11) උදෑසන දිවයිනට සපැමිණි ජපානයේ මුදල් අමාත්‍ය, මුල්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සහ එරට මුල්‍ය අපහරණය භාර අමාත්‍ය ගරු සුසුකි ෂුනිචි මැතිතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව, ජපාන අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේදී, ශ්‍රී ලංකාව පසු කල අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ ජපාන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගීතාවය පිළිබඳව අමාත්‍ය තෙන්නකෝන්, ෂුනිචි මැතිතුමා වෙත සිය කෘතඥතාව පළ කළේය. ජපාන අමාත්‍යවරයා ද ශ්‍රී ලංකාව විසින් ජපානය වෙත ලබා දෙන නොමඳ සහය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වෙත සිය කෘතවේදී ස්තූතිය පළ කළේය.

ජනවාරි 11 සිට 12 දක්වා මෙරට රැඳී සිටින කාලය තුල ජපාන මුදල් අමාත්‍යවරයා සහ එම දුත පිරිස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඇතුළු විවිධ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද අමාත්‍ය ෂුනිචි ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ නැව් තටාකාංගනය සහ මහරගම ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය යන ස්ථානවල සංචාරය කිරීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සභාපති ඉංජිනේරු. අතුල ගල්කැටිය මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ද ජපාන අමාත්‍යවරයා පිළිගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.