76 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

ජනවාරී 31, 2024
  • "හදමු අලුත් රටක්" යන තේමාව යටතේ පැවැත්වේ.
  •  උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහභාගී වේ.
  •  නිදහස් දින සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ දීප ව්‍යාප්ත ඔසුපැල වගා කිරීමේ වැඩසටහනක්.
  •  සර්ව ආගමික වතාවත් පැවැත්වේ.
  •  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

‘76 වැනි නිදහස් දින සැමරුම අපේ වටිනාකම් සහ සිරිත් විරිත් ලෝකය සමඟ බෙදා ගැනීමට අවස්ථාවක්’. 2024 පෙබරවාරි 04 වැනි දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අද (ජනවාරි 31) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.

76 වැනි ජාතික නිදහස් දින උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහභාගි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුව සඳහා එක්වෙමින් ඔහු කියා සිටියේය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍යභට බලකායට අයත් නිලධාරීන් 259ක් සහ සෙසුනිලයින් 6227කගේ සහභාගිත්වයෙන් නිදහස් දින උළෙලේ ප්‍රධාන අංගය ලෙස පැවැත්වෙන නිදහස් දින පෙළපාලිය පැවැත්වෙන බව මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න කියා සිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා දහනවයක්, සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පැරෂුට් භටයින් හතළිහක්ද මෙම උත්සවය වර්ණවත් කරන අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ නෞකාව ගාලු මුවදොර මුහුදේ දී චාරිත්‍රානුකූලව වෙඩිමුර 25 ක් ගුවනට මුසුකරමින් වෙඩි තබා ජාතියට ආචාරය පුද කරනු ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 02 දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී නිදහස් දින උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ දීප ව්‍යාප්ත ඔසු පැල වගා කිරීමේ වැඩසටහනක සමාරම්භක උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

නිදහස් චතුරශ්‍රයේදි සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ඇතුළු ආගමික වතාවත් සහ පසුදින දානමය පිංකම ද පෙබරවාරි 2 සහ 3 යන දෙදින තුළ පැවැත්වේ. තවද, ප්‍රධාන උත්සවයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ‘ජාතියේ පියා’ ලෙස සැලකෙන ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට මෙන්ම රටේ නිදහස් සටනට නායකත්වය දුන් ජාතික නායකයින් කිහිප දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරෙනු ඇත.

සාමාන්‍ය වාහන ගමනාගමනයට සහ මගීන්ට බාධාවකින් තොරව පෙරහුරු සහ ප්‍රධාන උත්සවය යන අවස්ථා දෙක සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් සකස් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන ලදි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.එම්. නන්දසේන සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූහ.