මාධ්‍ය නිවේදනය

පෙබරවාරි 02, 2024

2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබාදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී, අදාල හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා අංක අමප/23/2527/603/061 හා 2024.01.24 දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ඉහත කරුණු ප්‍රකාරව 2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබාදී, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව, වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ඔවුන්ගේ වයස අවුරුදු 55 වන තෙක් ගෙවන වැටුප් හා දීමනා, එම සාමාජිකයා වයස අවුරුදු 55 ට පෙර මියගියහොත් එම මියගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 වන තෙක් ඔවුන්ගේ යැපෙන්නන් හට අදාල ගෙවීම් කරනු ලබන බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම මෙම අයවළුන් වෙත මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි හිමිගන්වා ඇති ස්ථාවර මාසික දීමනාව එනම්, හමුදා සාමාජිකයා ජීවත්ව සිටියේ නම් වයස අවුරුදු 55 පිරෙන විට හිමිගන්වන සියළුම වැටුප්, විශ්‍රාම වැටුප් හා දීමනා වල එකතුව ද නොවෙනස්ව වැන්දඹුවගේ ජීවිතාන්තය දක්වා ලැබෙන පරිදි හිමිගන්වනු ලැබේ.