ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය මගින් ජාතික ආරක්ෂාව පිළිබද කථිකාව පවත්වයි

පෙබරවාරි 07, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත සහ ක්‍රියාත්මක කෙරෙන ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයනායතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, “මැදපෙරදිග වෙනස්වන කලාපීය ගතිකත්වය: රතු මුහුදේ ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් ශ්‍රී ලංකාවට ඇඟවුම්” යන මැයෙන් ආරක්‍ෂක කථිකාවතක් සංවිධානය කරන ලදි. 2024 පෙබරවාරි 07 (බදාදා) උදෑසන 1000 සිට 1200 දක්වා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය මෙවැනි ආරක්‍ෂක කථිකාවත සංවිධානය කරනු ලබන අතර, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත්, ආර්ඒස්පි විසින් මෙම සැසිය මෙහෙයවනු ලැබිය.

මෙවර කථිකාව සඳහා ගෞරවනීය ආරාධිත කථිකයා ලෙස සම්බන්ධ වූයේ, ඉන්දියාවේ ඒකාබද්ධ යුධ අධ්‍යයන මධ්‍යස්ථානයේ සහකාර සාමාජික සහ එක්සත් රාජධානියේ සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පොලිස් සහ ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ආරාධිත සාමාජික ආචාර්ය ආනන්ද් මිශ්‍රා මහතාය.

අමාත්‍යාංශ කිහිපයක උසස් නිලධාරීන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයන් ඇතුළු වෘත්තීය නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

සැසිය මෙහෙයවමින් සිදුකරන ලද හැඳින්වීමෙන් අනතුරුව, ආරාධිත කථික ආචාර්ය ආනන්ද් මිශ්‍රා මහතා, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර උත්සන්න වී ඇති රතු මුහුදේ ගැටුමේ වත්මන් තත්ත්වය ගෙනහැර දක්වමින් සිය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

එම කලාපය ආශ්‍රිත විවිධ නැව් මාර්ගවල දෘශ්‍ය සැසඳීම් සහ ඒවාට එල්ල වන ඍණාත්මක බලපෑම සමඟින්, ගෝලීය වෙළඳ හා ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙම ගැටුම් හේතුවෙන් ඇති කෙරෙන බලපෑම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කල හැකි නිර්දේශ පිළිබඳව ද ඔහුගේ දේශනයේදී අවධාරණය කරනු ලැබීය.

ඊට අමතරව, ආහාර හා බලශක්ති ප්‍රභවයන්වල මිල කෙරෙහි ඇති බලපෑම, ආනයන හා අපනයන කර්මාන්ත කෙරෙහි ඇති වන ආර්ථික බලපෑම සහ ගෝලීය සහයෝගිතාවය කෙරෙහි ඇති කෙරෙන බලපෑම යන කරුණු පිළිබඳවද සකච්ජාවට ලක් කෙරිණ.

ඉන් අනතුරුව ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් වත්මන් තත්ත්වය තුළ ඉදිරි ගමන සුභදායිවීම සඳහා ගතයුතු වැඩපිළිවෙල පිළිබඳව ඔහු සිය මතය අවධාරණය කළේය.

ඉන් අනතුරුව, ප්‍රශ්නෝත්තර වටයේදී සාකච්ඡා කළ මාතෘකාවට අදාලව ප්‍රේක්ෂකයින් විසින් කාලෝචිත ප්‍රශ්න කිහිපයක් ආරාධිත කථිකයා වෙත යොමු කරන ලද අතර, එම අවස්ථාවේ සභාව තුල ඉමහත් උද්යෝගිමත් බවක් පෙන්නුම් කළේය.

ප්‍රමාණවත් කරුණු මෙන්ම යථාර්තවාදී වත්මන් නිදසුන් ගෙන හැර දක්වමින් කථිකයා නිර්මාණශීලී ලෙස එම ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීය.

"ගැටුම් ඇති වූ අවස්ථාවලදී කළ යුතු වඩාත්ම තාර්කික ක්‍රියාව නම් කිසිවක් නොකිරීමයි" යනුවෙන් ආචාර්ය ආනන්ද් මිශ්‍රා  පැවසුවද, එම තත්වය යටතේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි තර්ජන සහ ලැබිය හැකි අවස්ථා පිළිබඳවද අවධාරණය කල එතුමා රටක් වශයෙන් ශ්‍රී ලංකාව තම පසුබිම ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මේ ඔස්සේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුහුද සමඟ සම්බන්ධ වීම හරහා ලැබෙන අමතර අත්දැකීම් සහ අවබෝධය සමඟින් ලැබිය හැකි ප්‍රතිලාභ වලට අමතරව මිත්‍ර පාර්ශ්වික රටවල් සමගින් ද්විපාර්ශ්වික යුධ අභ්‍යාස සඳහා අවස්ථාවන් ද උදා කර ගත හැකි බව වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වශයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක වැදගත්කම සහ ඒ සඳහා බහුපාර්ශ්වික මැදිහත්වීම යන කරුණු පිළිබඳව අවධානයට ලක්විය.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් වන ගරු බර්නාඩ් ගුණතිලක සහ ගරු එච් එම් ජී එස් පලිහක්කාර යන මහත්වරුන්, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පැමෙලා ජේ ඩීන් මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.