‘EX - DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

පෙබරවාරි 21, 2024

‘EX - DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි 20) කොළඹ වරායෙන් පිටත් විය.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනෙහි වෙරළාරක්ෂක නාවිකයින් අතර සහයෝගීතාව ගොඩනැඟීම, මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ‘EX - DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 ආරම්භ වෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලින්ද කුමාර වෙත බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ධම්මික විජේවර්ධන විසින් සුභාශිංෂණ පිරිනැමීමෙන් අනතුරුව, සමුදුර නෞකාව ‘EX - DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ‍මෙලෙස අද දින (2024 පෙබරවාරි 20) කොළඹ වරායෙන් පිටත් විය.

තවද, මෙවැනි නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපාය මාර්ගික ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, සාගර කලාපයේ නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

අනුග්‍රහය- www.navy.lk