පවතින වියළි කාලගුණික තත්වය සහ කැළෑ ගිනි ගැනීම් පිළිබඳව
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වයි

මාර්තු 14, 2024
  • මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඇතිවිය හැකි ඕනෑම අපදා තත්වයකට මුහුණ දීමට ආපදා කළමකරණ මධ්‍යස්ථානය සූදානම්
  • පවතින නීති රාමුව තුල කැලෑ ගිනි තැබීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක්.

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනි ගැනීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ඊයේ (මාර්තු 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.

කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පුරෝකථනවලට අනුව මාර්තු මස අග භාගයේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී තිබුනද, එම වර්ෂාපතනයන් හි යම් කිසි අඩුවක් සිදුවුවහොත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ඒ සඳහා පූර්ව සැලසුම් යොදා ඇති බවත්, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේද සහය ඇතිව ජනතාව වෙත ඇතිවිය හැකි සෑම අපහසුතාවයකටම, ආපදාවකටම විකල්ප පහසුකම් සැපයීමට නිරතුරුවම සුදානමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

පවතින වියළි කාලගුණයත් සමඟ ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරීමට පෙළඹෙන බවත්, කැළෑ ගිනි තැබිම් නිසා වර්ෂාව ලබාගත හැකි බවට යම් යම් ජන කොටස් දරණ මිත්‍යා මත අනුව ගම්වාසීන් කැළැ ගිනි තැබිම් සිදුකරන බව නිරික්‍ෂණය වන බවත් පැවසූ අමාත්‍ය තෙන්නකෝන් මෙම තත්ත්වය පාලනය කිරිමට සියලු දෙනාගේ සහය ලබාදෙන ලෙසටත් මෙවැනි ඉතා බරපතල විනාශකාරී කටයුතු වලින් වැළකී සිටින ‌ෙලස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

තවද කැලෑ ගිනි තැබීම්වලට සම්බන්ධවන තැනැත්තන් හට පවත්නා නීති රාමුව තුල උපරිම දඩුවම් පමුණුවන ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙත ඉල්ලීම් කර තිබෙන බවත්, කැලෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් පනවා ඇති නීති සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යංශයේ නීති අංශය හරහා විධිමත් අධ්‍යනයක් සිදුකර, එම නීති වල පවතින අඩුපාඩු හා යාවත්කාලීන කලයුතු කරුණු කෙරෙහි සලකා බලා නීති සංශෝධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදහස් කරන බව ද ප්‍රකාශ කර සිටියේය.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු විසින් ලබාදී ඇති තොරතුරු අනුව උෂ්ණත්වය වැඩි පළාත් වශයෙන් උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත් හඳුනාගෙන ඇති බවත්, පවතින වියළි කාලගුණික තත්ත්වය මත පාසල් දරුවන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

දැඩි හිරු රශ්මියක් පවතින උෂ්ණාධික පළාත්වල පානිය ජලය අඩු ප්‍රදේශ හඳුනාගැනීමටත්, එම ප්‍රදේශ සඳහා ජල සැපයුම විධිමත් ආකාරයෙන් ලබාදීමටත් ආපදා සහන සේවා මධ්‍යස්ථාන සුදානම්ව සිටින බවත්, ඒ සඳහා පෙර සුදානමක් හා වැඩපිළිවෙලක් තිබෙන බවත්, ජලමුලාශ්‍ර වල ලවනතාවය පිළිබඳව සැලකිලිමත් වී ලවනතාව බහුල ප්‍රදේශ වෙත ප්‍රමුඛතාව මත ජලසම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කර, ඒ හරහා පානිය ජලය ලබාදීමට ක්‍රියාකරන බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනී තැබීම් සහ ඒ සඳහා ගන්නා ලද පියවරයන් සම්බන්ධයෙන් හා පවත්නා නීතිමය රාමුව ඔස්සේ එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වන අයවලුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අප රට තුල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් රට තුල කැළෑ ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවින හමුදාව, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විශාල ප්‍රයත්නයක් පසුගිය දින කිහිපයේදී දරා තිබෙනවා.

දඩයම් කිරීම සහ හේන් ගොවිතැන් කිරීම මෙන්ම විනෝදාස්වාදය සඳහා කැලෑව තුලට පිවිසෙන තරුණ තරුණියන්, කඳු තරණය කරන්නන් සහ කඳවුරු බඳිමින් සංචාරයේ නිරත වන කණ්ඩායම් වලින් මෙම කැළෑ ගිනි තැබීමට උත්තේජනයක් බව නිරීක්‍ෂණය වේ.

සමකය ආසන්න රටක් වශයෙන් අප රටට වර්ෂාව ලැබෙනවා සේම වාෂ්පීකරණය අධික රටක් වශයෙන් අප රට හදුනාගෙන ඇති බවත්, මේ පිළිබඳව විධිමත් අධ්‍යනයක් කලයුතු බවත්, මෙම කැලෑ ගිනි තැබීම මගින් සිදුවන හානීන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගොවීන්ව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා ගංගා, වැව් පොකුණු ආදි ජලමුලාශ්‍ර වලින් ජලය ප්‍රයෝජනවත් ලෙස අරපිරිමැස්මෙන් යුක්තව කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදා ගැනීමට, ජල බින්දු ක්‍රමවේදය වැනි තාක්‍ෂණය යොදා ගැනීමේ වැදගත්කම හා කෘෂිකර්මාන්තය නව්‍යකරණයේ අවශ්‍යතාව පිළිබඳවද මාධ්‍යවේදියෙකු යොමුකරන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පවසා සිටියේය.