යුධ පිටියේ දී රණවිරුවන් හා උරෙනුර ගැටෙමින් ඔවුන්ගේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙමින්, චිත්ත ධෛර්යය ඉහළ නැංවීම ප්‍රසංශනීයයි - ආරක්‍ෂක ලේකම්

මාර්තු 16, 2024

“විවිධාංගීකරණය තුලින් හමුදා වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ඨත්වය කරා ළඟාවීම” වැනි කාලෝචිත තේමාවක් මෙම වසරේ සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලය තෝරාගෙන තිබීම පිළිබඳ මා අතිශයින් සතුටු වෙමි. හමුදා වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ඨත්වය ළඟා කරගැනීම හුදෙක් හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමෙන් හා කුසලතා වර්ධනය කිරීමෙන් පමණක් සාක්ෂාත් කරගත නොහැකි බව මා තරයේ විශ්වාස කරමි. නමුත් මෙවර ඔබ තෝරාගෙන ඇති තේමාව තුලින් ගම්‍ය වන ආකල්පමය හා චර්යාත්මක වෙනස ඇති කිරීමෙන් හා පෝෂණය කිරීමෙන් එය සඵල වන බව මාගේ විශ්වාසයයි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (මාර්තු 15) වැලිසර නාවික හමුදා ‘Wave n’ Lake’ උත්සව ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයේ (SLCOMM) හත්වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයේ හි හත්වන වාර්ෂික අධ්‍යයන සැසි වාරය එලඹෙන මාර්තු 16 සහ 17 යන දිනවලදී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, ශල්‍ය වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු විසින් සමාරම්භක උත්සවයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ගෞරවනීය ආරාධිත අමුත්තන් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනය ත්‍රිවිධ හමුදා වෛද්‍ය සේවා ප්‍රධානීන්ගෙන් සමන්විත විධායක කමිටුවක් මඟින් සිදුකෙරෙන අතර, මෙවර පැවැත්වෙන හත්වන වාර්ෂික අධ්‍යයන සැසි වාරයේදී මෙරට ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා වෛද්‍ය විශේෂඥයින් අතර අත්දැකීම් හුවමාරු කරගැනීමට සහ දැනුම හා අවබෝධය හුවමාරු කරගැනීමට වේදිකාවක් සපයනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදේශ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.