ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලය සහ
සාම සාධක පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණේ

මාර්තු 28, 2024

කෙන්යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදුකල ආරාධනයකට අනුව, දැනට කෙන්යාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය මාර්තු 26 වන දින කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ආරක්‍ෂක විද්‍යාලය වෙත පැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් R A Elmi විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිය. අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් දැනට එම විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදුකරන නිලධාරීන් අමතා "The Role of the Military in Statecraft" යන මැයෙන් දේශනයක් ද පැවැත්වූ බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පවසයි.

කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලය වෙත සිදුකරන ලද මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් පැළයක් ද රෝපණය කළ අතර, අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහනක්ද එක් කරනු ලැබිය.

මෙම නිල සංචාරය අතරතුර ජෙනරල් සිල්වා කෙන්යානු ජාත්‍යන්තර සාම සාධක පුහුණු මධ්‍යස්ථානය වෙත ද ගිය බව මාධ්‍ය වාර්තාවේ තව දුරටත් සඳහන් වේ.

සාම සාධක පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් Joyce C Sitienei විසින් මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මහත් හරසරින් පිළිගත් අතර, අනතුරුව එම පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාරය, සාම සාධක මෙහෙයුම් ඉලක්කගත පුහුණු වැඩසටහන් සහ සාම සාධක මෙහෙයුම්වලට අදාළ පර්යේෂණ ඇතුළු ක්‍රියාවලීන් පිළිබඳව දැනුවත් කළේය.