එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව
ලෙබනනය බලා පිටත්ව යයි

අප්‍රේල් 04, 2024

සාමාජිකයින් 125 කින් සමන්විත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් (SLFPC) පසුගිය බදාදා (අප්‍රේල් 03) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව වාර්තා කරයි.

පසුගිය මාර්තු 09 වන දින 15 වන කණ්ඩායමේ පළමු අදියර වශයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යුධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිටත්ව ගිය අතර ඉන් අනතුරුව මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇත. ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී විතානගේ නායකත්වයෙන් යුත් මෙම බලඇණියට නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 114 දෙනෙකු ඇතුළත් බව එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා හමුදාව හට ලෙබනනයේ Naqoura හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) සහ අවශ්‍ය පරිදි ප්‍රභූ ආරක්ෂාව සැපයීමට නියම කර ඇත.

මේ අතර, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) සඳහා වූ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් සිය මෙහෙයුම අවසන් කර පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 02) දිවයිනට පැමිණියහ. පසුගිය වසරේ මාර්තු මාසයේදී එක්සත් රාජකාරීන් සඳහා පිටත්ව ගිය මෙම කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 115 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අණදීම කර්නල් ඩිපීඅයිටි කළුඅග්ගල විසින් සිදු කරන ලදී.