ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හී මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත
පවුල් සඳහා නව නිවාස

අප්‍රේල් 04, 2024

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නව නිවෙස් භාරදීම සංකේතවත් කරමින් නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කරන ලදි.

නව නිවෙස් ඉදිකිරීම සඳහා පළාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙතින් රුපියල් මිලියන 1.8 ක් වෙන්කරන ලදී. 5 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික සහයෝගය මත 7 සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයන්හි භටපිරිස් විසින් නව නිවෙස්වල ඉදකිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.

මෙම වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ සුරතින් කිලාලි, මරියමඩි පෙරපාසලේ ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි. 23 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී එම පෙරපාසල් ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk