දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 05, 2024

මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිමකර නික්ම යන තුර්කි ජනරජයේ තානාපතිනි, අතිගරු R. Demet Şekercioğlu මැතිණිය අද (අප්‍රේල් 05), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

තම කාර්යාලයට පැමිණි අතිගරු Şekercioğlu මැතිණිය ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීමෙන් අනතුරුව ඇය සමග සුහද කතාබහක ද නිරත විය. නික්ම යන තුර්කි නියෝජිතවරිය සිය ධුර කාලය තුළදී ශ්‍රි ලංකා රජය සමඟ ඉතා සුහදත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධව හා එතුමිය මෙරට දී කරන ලද සේවය ජෙනරල් ගුණරත්නගේ ඇගයීමට ලක්විය. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා සිය ධුර කාලය තුළ මෙරට රජයෙන් ඇය වෙත ලැබුණු සහයෝගය වෙනුවෙන් ඇය තම කෘතඥතාව ද පළ කළාය.
 
තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට 1995 වසරේදී සම්බන්ධවූ අතිගරු Şekercioğlu මැතිණිය 2020 ජනවාරි 7 වන දින කොළඹ දී මෙරට තුර්කි ජනරජයේ තානාපතිනිය ලෙස රාජකාරි භාර ගත්තේය.
 
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි වූ අතර, මෙම හමුවෙහි සුවිශේෂිත්වය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් නික්ම යන තානාපතිනිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.