මගේ අධිෂ්ඨානය වනුයේ අමාත්‍යාංශයෙන් ‘ඵලදායී පුරවැසියන්’ බිහි කිරීමයි - ආරක්ෂක ලේකම්

ජනවාරී 01, 2021

        •    ආරක්ෂක අමාත්‍යාංශය 2021 නව වසර සාදරයෙන් පිළිගනී

ආරක්ෂක අමාත්‍යාංශය නව  අවුරුදු උදාව සැමරීම ආගමික ආශීර්වාද හා වතාවත් මධ්‍යයේ අද (2021 ජනවාරි 1) දින සිදුකෙරිණි.

නව වසර සඳහා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සුබ පැතූ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සිය දේශනය දී “මෙම අලුත් අවුරුද්ද ආරම්භ වීමත් සමඟ කොවිඩ්-19 තර්ජනය මධ්‍යයේ අභියෝගාත්මක පරිසරයක වැඩ කිරීමට අපට සිදුව තිබෙනවා”, යනුවෙන්  පැවසීය.

ජෙනරාල් ගුණරත්න විසින් සම්ප්‍රදායානුකූලව ජාතික ධජය ඔසවන ලද අතර පසුව ජාතික ගීය ගායනා කිරීම සිදුවිය.

මියගිය රණවිරුවන්ට ගෞරව දැක්වීම  සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පළ  කළ අතර අමාත්‍යාංශයේ සියලුම සේවකයින් විසින්  රාජ්‍ය සේවක දිවුරුම් දීම සිදු කළහ.

මෙම වසංගත තත්වය යටතේ වුවද මහජනයා විසින් ආරක්ෂක අමත්‍යාංශය වෙතින් අපේක්ෂිත සේවය, සාමුහිකව කටයුතු කරමින් යුහුසුලුව නොපිරිහෙලා ඉටුකර දෙන ලෙස  ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

“මෙම තත්ත්වය පිළිබඳව ඔබ  පුද්ගලිකව අවධානය යොමු කර සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීමට වගබලා ගත යුතු අතර එමඟින් අපගේ එදිනෙදා වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හැකිවනවා  ඇත” ඔහු තවදුරටත් පැවසීය.

ඒ අනුව නව වසරේ සිට රාජකාරී ඉටුකිරීමේදී ජනාධිපතිතුමන් විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක විනයගරුක, සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා මෙම වසරේදීද හදවතින්ම ඇප කැප වී ක්‍රියා කරන ලෙස ඔහු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය.

“මගේ අධිෂ්ඨානය වන්නේ මෙම   අමාත්‍යාංශයෙන් ‘ඵලදායී පුරවැසියන්’ බිහි  කිරීමයි”, ඔහු සඳහන් කළේය.

මහා  සංඝරත්නය, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චිත්‍රානි ගුණරත්න, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.