ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

මැයි 05, 2025

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Severine Chappaz මහත්මිය, අද (මැයි 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය මගින් සපයා ඇති විධිවිධාන ආරක්‍ෂා කිරීමේ ක්‍රියාවලිය තුල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙහි දිගුකාලීන හා තීරණාත්මක කාර්යභාරය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. තවද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීම පිළිබඳව ද ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ Chappaz මහත්මිය ප්‍රකාශ කලේ මානුෂීය අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව කැපවී ක්‍රියා කරන බවයි. තවද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර පවතින ඵලදායී සම්බන්ධතාවය ඇයගේ ඇගයීමට ලක් විය.