‘බුද්ධ රශ්මි 2025' ජාතික වෙසක් කලාපය තුන්වන දිනයේ සමාරම්භක උත්සවය
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්

මැයි 15, 2025

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන 'බුද්ධ රශ්මි 2025' ජාතික වෙසක් කලාපය තුන්වන දිනයේ සමාරම්භක අවස්ථාව ඊයේ (මැයි 14) සන්ධ්‍යාවේ සිදු කෙරුණු අතර, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මේ සඳහා සහභාගී විය.

බෞද්ධාගමික උත්සව අතුරින් වඩාත් පූජනීය අවස්ථාවක් ලෙස සැලකෙන වෙසක් උත්සවය, සුවහසක් බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මික පුනරුදය, සංස්කෘතික ඇගයීම සහ සහජීවනය පෝෂණය කිරීම අරමුණු කරයි.  

විවිධ වර්ණ රටාවන්ගෙන් හා කලාත්මක ආලෝකකරණයෙන් විචිත්‍රවත් වූ වෙසක් කූඩු, වෙසක් බැති ගී සහ වෙසක් කලාපය වෙත පැමිණෙන බැතිමතුන් සඳහා සංවිධානය කරනු ලබන දන්සල් වලින් ද, බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය සමන්විත වේ. පසුගිය මැයි 13 දින ආරම්භ වූ මෙම වෙසක් කලාපය එළඹෙන 16 දින දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තුන්වන දිනයේ සමාරම්භක අවස්ථාවට ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, එදින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමා, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමා, මහජන ආරක්‍ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලාෆර් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්, සම්භාවනීය ආරාධිත අමුත්තන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් මෙන්ම, නන් දෙසින් පැමිණි ජනතාව විශාල පිරිසක් ද, එක්ව සිටියහ.