නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනයේ සමාරම්භය සනිටුහන් කරයි

මැයි 19, 2025

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනය කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන අතර, ඒ අනුව අද (මැයි 19) දින ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් උත්සව ශාලා පරිශ්‍රයේ පැවති එහි සමාරම්භක අවස්ථාවේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් මෙවර සමුළුවේ සමාරම්භය නිල වශයෙන් සනිටුහන් කළේය.

මෙම සමාරම්භක අවස්ථාවට මෙරට ආරක්‍ෂක සේවාවන්හි ක්‍රීඩා මණ්ඩල නියෝජනය කරමින් නාවික හා ගුවන් හමුදාපතිවරුන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ද එක් වූහ.

ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අවස්ථාවක් ලෙස සැලකෙන මෙම සම්මේලනය ඔස්සේ, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් සහ විවිධ රටවල හමුදාවන්හි ක්‍රීඩා කණ්ඩායම්වල නායකයින් එක්ව හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඉහල නැංවීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු බොහොමයක් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව සැලසේ. විශ්වීය භාෂාවක් වන ක්‍රීඩාව ඔස්සේ සන්නද්ධ හමුදා අතර පවතින ජාත්‍යන්තර සහයෝගීතාව, එකමුතුකම සහ සහෝදරත්වය ඉහල නැංවීම සඳහා මෙම සම්මේලනය අත්‍යවශ්‍ය වේදිකාවක් සපයනු ලබයි.

සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් ජාතීන් අතර වෘත්තීයභාවය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කිරීමේදී හමුදා අතර පැවැත්වෙන ක්‍රීඩා තරඟ හා පුහුණු ක්‍රියාකාරකම් වල කාර්යභාරය අවධාරණය කළේය. තවද, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මහා සභා රැස්වීම සහ සම්මේලනය වැනි උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, එය ක්‍රීඩාවන් හරහා ගෝලීය සාමය සහ හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ සාක්‍ෂියක් වන බවද සඳහන් කළේය.

සතියක් පුරා පැවැත්වීමට නියමිත මෙවර සමුළුව, විවිධ උපායමාර්ගික සැලසුම් සැසි වාර සහ සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් ඔස්සේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් ගොඩනැගීමේදී ක්‍රීඩාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සාකච්ඡා මාලාවකින් සමන්විත වේ. එහිදී සාකච්ඡා කෙරෙන ප්‍රධාන තේමාවන් අතරට හමුදා අංශයන්හි ක්‍රීඩා නවීකරණය, නව ක්‍රීඩා අංග ඇතුළත් කිරීම පුළුල් කිරීම සහ සන්නද්ධ හමුදා සේවා සාමාජිකයින් අතර ශාරීරික හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වේ.

1948 දී ආරම්භ කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය, මේ වනවිට සාමාජික රටවල් 140 කට අධික සංඛ්‍යාවක් සිටින ලොව විශාලතම බහුවිධ ක්‍රීඩා සංවිධානයකි. ක්‍රීඩා තරඟ සහ සහයෝගීතා මුලපිරීම් හරහා ලෝකයේ රටවල සන්නද්ධ හමුදා අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධානතම අරමුණයි.