16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මැයි 19, 2025

 

  • ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙත සියලු ශ්‍රී ලාංකිකයන්ගේ උපහාර

16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. පසුගිය යුද සමයේ දී රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ හා රණක්‍ෂිතයට පත් සියලු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් විසින් සිදුකල වීරෝදාර කැපකිරීම් හා අමිල සේවය ස්මරණය කිරීමේ අරමුණින් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

දශක ගණනාවක මුළුල්ලේ පැවති යුද ගැටුම්වලින් අනතුරුව රට තුල සාමකාමී සහ ජාතික සමගියේ යුගයක් උදා කරමින්, ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා තම ශරීර කොටස් පමණක් නොව ජිවිතවලින් පවා උත්තරීතර පරිත්‍යාගයක් සිදුකළ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් වෙත ජාතියේ කෘතඥපූර්වක උපහාරය පුද කරනු වස් වාර්ෂිකව මෙම ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පවත්වනු ලබයි.

මියගිය රණවිරුවන් සිහිපත් කරමින් කෙටි නිශ්ශබ්දතාවයකින් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, පළමුව ගරු ජනාධිපතිතුමා විසින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය. ඉන් අනතුරුව යුද්ධය නිම කල අවස්ථාවේදී එවකට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් හමුදා ප්‍රධානීන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, උපහාර දක්වනු ලැබීය.

අපගේ දේශය වෙළාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදයට එරෙහි ජාතික සටනේදී ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 28000 කට අධික ප්‍රමාණයක් සිය ජිවිත පරිත්‍යාග කළහ. තවත්, 27,000 ක පමණ පිරිසක් විවිධ ආබාධිත තත්ත්වයන්ට පත් වූ අතර, ඔවුන් වෙත මෙහිදී ගෞරව පුද කරන ලදී. අද දින සැමරුම් උත්සවයට සහභාගී වූ රණක්‍ෂිතයට පත් ආබාධිත හා රෝද පුටුවලින් ගමන් කරන රණවිරුවන් මෙම උත්සව සභාවේ සිටි පිරිස පසුකර යන අවස්ථාවේදී, සියලු දෙනා හුනස්නෙන් නැගී සිටිමින් එම රණවිරුවන් සතු අප්‍රතිහත ධෛර්යය සහ ඔරොත්තුදීමේ හැකියාව සිහිපත් කරමින් ඔවුන් සියලුදෙනා වෙත ගෞරවාචාර දැක්වීය.
 
රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය ආරක්‍ෂා කිරීම සඳහා වගකීම පැවරී ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය අභිමානවත් හා ගෞරවනීය අයුරින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලැබීය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මැතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම, මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද, මෙම අවස්ථාවට එක් වූ අතර, ඔවුන් සියලු දෙනා ඉමහත් ගෞරවයෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අප මාතෘභූමියෙන් අතුගා දැමීමෙන් දහසය වසරක් සපිරෙන මෙම මොහොතේදී ශ්‍රී ලංකාව සාමයේ සහ ස්ථාවරත්වයේ තවත් වසරක් සනිටුහන් කරන බැවින්, නිදහස හා ස්වෛරිභාවය පිළිබඳ සියලු ශ්‍රී ලාංකිකයන් වෙත සිහිපත් කිරීමක් වශයෙන් මෙම දිනය වැදගත් වේ. ශක්තිමත්, සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා එකමුතුව, කෘතඥතාපුර්වකව සහ අධිෂ්ඨානයෙන් අප සියලු දෙනා ඉදිරියට යා යුතුය.