ඉන්දුනීසියානු මහ කොමසාරිස්වරිය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
මැයි 27, 2025කොළඹ ඉන්දුනීසියානු මහ කොමසාරිස් අතිගරු Dewi Gustina Tobing මැතිනිය සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අතර හමුවක් අද (මැයි 27) දින කොළඹ දී සිදු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් මෙම හමුවේදී යොමු කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ඔවුන් දෙදෙනා සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත විය. කලාපීය ආරක්‍ෂක ගතිකත්වය, සහයෝගීතා පුහුණු අවස්ථා සහ ආරක්‍ෂක ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු වැඩි දියුණු කිරීම පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගත්හ. තවද, දූෂණ විරෝධී ප්‍රතිපත්ති සඳහා ඉන්දුනීසියාවේ දැඩි කැපවීම පිළිබඳව, දෙරටේ රජයන්හි පොදු ප්‍රමුඛතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම ද, මෙහිදී සිදුවිය.
දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දු - පැසිෆික් කලාපයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සබඳතා තර කිරීමේ වැදගත්කම ද, මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය. කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දුනීසියාවේ වැදගත් කාර්යභාරය සහ බහුපාර්ශ්වික සංසද සඳහා ක්‍රියාකාරී දායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක්විය.
ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඉන්දුනීසියාවේ කැපවීම පිළිබඳ මහ කොමසාරිස්වරිය මෙහිදී තහවුරු කරන ලද අතර, ඒකාබද්ධ මුලපිරීම්, ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් සහ තොරතුරු හුවමාරුව තුළින් දෙරටට ඔවුන්ගේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවට විශ්වාසය පළ කළාය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ආයෝජන සහ කාර්මික සංවර්ධනයන්හි සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන්ද ඇය විසින් ඉස්මතු කළාය.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හා වර්ධනය වන හවුල්කාරිත්වය පිළිබිඹු කරමින්, ඉහළ මට්ටමේ සබදතා අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ආරක්‍ෂක සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කරමින් මෙම හමුව අවසන් විය.