අලි - මිනිස් ගැටුම විසඳීමට කඩිනම් පියවර

ජුනි 02, 2025

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගොවිබිම් වලට සහ ජන ජීවීතයට විශාල තර්ජනයක් වෙමින් පවතින වන අලි ගැටලුවට විසදුම් සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ආචාර්ය ඒ එච් එම් එච් අබේරත්න සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජුනි 2) දින නාරාහේන්පිට 'නිල මැදුර' පරිශ්‍රයේදී පැවැත්විය.

වන අලි තර්ජන උග්‍ර වීම හේතුවෙන් එම ගැටළු අවම කිරීම සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාවය කෙරෙහි මෙම සාකච්ඡාවේදී  විශේෂ අවධානය යොමු කල අතර, එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන පල්ලම, ආරච්චිකට්ටුව, ආනමඩුව, පුත්තලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරිණ.

තවද, ගම් වැදී සිටින වන අලි විල්පත්තුව හා තබ්බෝව රක්ෂිත ප්‍රදේශ වෙත පලවා හැරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී  අවධානය යොමු කල අතර මේ දක්වා  ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව දැක්වූ දායකත්වය පැසසුමට ලක් විය. තවද, වන අලි සඳහා සංරක්ෂිත ප්‍රදේශ වෙන් කිරීම, වැඩිදියුණු කළ අලි වැටවල් ස්ථාපනය, අධීක්‍ෂණ පද්ධති සහ මිනිසුන් සහ වනජීවීන් අතර සහජීවනය සහතික කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි උපාය මාර්ග සම්බන්ධයෙන් ද  කරුණු ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.