ආරක්‍ෂක ලේකම්වරයා මඩකලපුව ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක

ජුනි 03, 2025

නැගෙනහිර පළාතේ විශේෂයෙන් මඩකලපුව ප්‍රදේශයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (ජූනි 03) දින එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. 

එහිදී ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවී දැනට හඳුනාගෙන ඇති ආරක්‍ෂක ගැටළු සහ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා වන මෙහෙයුම් සූදානම පිළිබඳ කරුණු සාකච්ඡා කළේය.

ජාතික ආරක්‍ෂාව සහතික කිරීමේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් සියලු සාමාජිකයන්ගේ නොසැලෙන කැපවීම, විශේෂයෙන් මානුෂීය මෙහෙයුම් වලදී ඔවුන් දැක්වූ විශිෂ්ඨ දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

එමෙන්ම, ආරක්‍ෂක හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ වැදගත්කමද අවධාරණය කළ අතර, විශේෂයෙන් බහු ආගමික සහ සංස්කෘතික වශයෙන් විවිධත්වයක් පවතින මඩකලපුව ප්‍රදේශයේ ආරක්‍ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී අන්‍යෝන්‍ය විශ්වාසය සහ සමගිය සහතික කරමින්, ප්‍රාදේශීය සමාජය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වන ලෙස එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, නැගෙනහිර පළාත මූලික කරගනිමින් සිදුවිය හැකි රාජ්‍ය විරෝධී හෝ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය ඒකාබද්ධව සාමුහික සැලැසුම් සකස් කළ යුතු බවත්, අවධාරණය කළේය. 

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථාන වශයෙන් සැලකෙන මඩකලපුව, පාසිකුඩා, ආරුගම්බේ ආදී ප්‍රදේශවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කල යුතු බවට ද, ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් උපදෙස් ලබා දුන්නේය.

ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම ඔහුගේ මෙම සංචාරය ඔස්සේ ඉස්මතු කරයි.