ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රෝගී ජීවිත ආරක්‍ෂා කිරීමට
තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 3,564 ක්

ජුනි 11, 2025

මහජන සුභසාධනය සහ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වන නාවික හමුදාවේ කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මේවන විට අඩු වියදම් තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 3,564 ක් නිෂ්පාදනය කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ජානගත රුධිර ආශ්‍රිත රෝගයක් ලෙස සැලකෙන තැලසීමියාවට ප්‍රතිකාර ලෙස නිරන්තරයෙන් රුධිර පාරවිලයනය කිරීමට අවශ්‍ය වේ. එම නිසා ශරීර අභ්‍යන්තර ඇතැම් අවයව වල අධික වශයෙන් යකඩ තැන්පත් වන අතර, නිසි ප්‍රතිකාර සිදු නොකළහොත් එය මාරාන්තික තත්වයක් දක්වා වුවද වර්ධනය විය හැක. මෙම රෝගී තත්වයෙන් පෙලෙන රෝගීන් සඳහා එම තැන්පත් වන අධික යකඩ ප්‍රමාණය ඉවත් කිරීමේ ප්‍රතිකාර වලදී භාවිත කෙරෙන තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර රෝගීන්ට, විශේෂයෙන් කුඩා දරුවන්ට ජීවනාලියක් බඳු වේ.

කෙසේ වුවද, ආනයනික තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍රයක් හරහා සිදුකෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් රු. 75,000 සිට රු.100,000 දක්වා වන අධික පිරිවැයක් දැරීමට සිදු වන අතර, මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික පවුල් සඳහා එම වියදම් දැරිය නොහැකි මට්ටමකට පත්ව තිබේ. මෙම තීරණාත්මක සෞඛ්‍ය සේවා අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් 2011 වර්ෂයේ දී මෙම එන්නත් පද්ධති දේශීයව නිෂ්පාදනය කිරිමට අදාළ විකල්ප ක්‍රමවේදයන් සංවර්ධනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, ඒකකයක් නිෂ්පාදන පිරිවැය රු. 9,000 ක් වන ඉතා ක්‍රියාකාරී මට්ටමේ තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට එහි පර්යේෂණ කණ්ඩායම සමත්වූ අතර, එතැන් පටන් මෙම පද්ධති රට පුරා රෝගීන් වෙනුවෙන් නොමිලේ බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

නාවික හමුදාව මෙම පද්ධති නිෂ්පාදනයට අමතරව එහි උපාංග නිතිපතා නඩත්තු කිරීම සේවාවද සිදුකරනු ලබන අතර, ඒ ඔස්සේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා ප්‍රතිලාභ අඛණ්ඩව ලැබෙන බවට සහතික කරනු ලබයි. නාවික හමුදාව විසින් මෑතකදී එවැනි එන්නත් පද්ධති 400 ක් පරිත්‍යාග කරන ලද අතර, එමගින් රෝගී ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකරන නිහඬ සේවාවේ වැදගත්කම හා නොසැලෙන කැපවීම අවධාරණය කරයි.
 
මෙම ව්‍යාපෘතිය මගින් පසුගිය වසර 14 ක කාලසීමාව තුළ, පවුල් දහස් ගණනකට සහනයක් වූවා පමණක් නොව, රජයේ මහජන මුදල් මිලියන ගණනින් රටට ඉතිරි කර දීමට ද හැකි වී ඇත. මෙම මහගු ක්‍රියාව අගයමින්, 2012 වසරේ දී 'හොඳම මධ්‍යම පරිමාණ නිෂ්පාදකයා සඳහා වන ජාතික සම්මානය' ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමි විය. 2011 වසරේ දී රූපලාවන්‍ය උපාංග සහ ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම පද්ධති ජාතික සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූල බවට සහතික කරන ලදි.

දේශීය වෙළඳපොලේ තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර සඳහා වෙනත් සැපයුම්කරුවන් නොමැති බැවින්, නාවික හමුදාවේ මෙම කාර්යභාරය තීරණාත්මක සහ සුවිශේෂී වන අතර, ඔවුනගේ අඛණ්ඩ කැපවීම ඔස්සේ නවෝත්පාදනයන් තුළින් තිරසාර රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් උදාහරණ සපයා ඇත. එමඟින් අවධානමට ලක්විය හැකි රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීමටත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මත පැටවෙන මූල්‍යමය බර සැහැල්ලු කිරීමටත් හැකි වී ඇත.