'ශ්‍රී ජයවර්ධනපුර පොසොන් උදානය 2025' දෙවන දිනය වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ
ජුනි 11, 2025පලමු වරට සංවිධානය කරන ලද "ශ්‍රී ජයවර්ධනපුර පොසොන් උදානය 2025" සමාරම්භය ජුනි 10 වන දින පැවැත්වුණු අතර, එය ශ්‍රී ජයවර්ධනපුර නගරයට ආගමික හා සංස්කෘතික නව වටිනාකමක් එක් කරයි. මෙම පොසොන් කලාපය මාදිවෙල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ අතර, පොසොන් කලාපය බත්තරමුල්ල "කමත" පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්, කිබුලාවෙල මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මාවත දක්වා විහිදීය.
බෞද්ධාගමික ප්‍රධාන උත්සවයක් වන පොසොන් උත්සවය සැමරීමට නිරන්තර සහයෝගය දක්වනු ලබන ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම පොසොන් කලාපයේ අද (ජුනි 11) දින සන්ධ්‍යාවේ පැවති ආරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය. මෙම අවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමය ආරක්‍ෂා කිරීම සඳහා ඇති කැපවීම පිළිබිඹු කරනවා පමණක් නොව, අපගේ සමාජය ශක්තිමත් කිරීමේදී එකමුතුකමේ සහ සාමුහිකත්වයේ වටිනාකම්වල වැදගත් කාර්යභාරය ද අවධාරණය කරයි.
මෙම පොසොන් උදානය සැමරුම් උත්සවයට සමගාමිව ආගමික වතාවත්, විචිත්‍රවත් පොසොන් පහන් කූඩු සහ සංස්කෘතික ප්‍රදර්ශන ඇතුළත්ව තිබෙන අතර සාමය, සමගිය සහ සහජීවනය යන තුන් කල්හි වැදගත් වන බෞද්ධ වටිනාකම් මූර්තිමත් කරයි. විහාරාධිපති පූජ්‍ය වැලිගල්ලේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේගේ පුර්ණ සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාවට මහරගම නගරාධිපති සමන් සමරකොන් මහතා, බස්නාහිර ආණ්ඩුකාරවර ලේකම් ඉශාන් විජේතිලක මහතා, බස්නාහිර පළාත් සභා ලේකම් හර්ෂ විජේවර්ධන මහතා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, විශාල බැතිමතුන් පිරිසක් ද ඊට සහභාගී වූහ.
මෙම වැඩසටහන එළඹෙන ජුනි 14 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ලක්වැසි සියලු බෞද්ධ ජනතාවට සිත් පහන් කරවා ගනිමින් කුසල් උපදවා ගැනීමට එක් වන මෙන් මින් ආරාධනා කර සිටී.