දැනට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් වලදී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනේ

මැයි 02, 2019

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු රට තුල ආරක්‍ෂක විධිවිධාන තරකර ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර අවි ආයුධ, පතුරම් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. ඊයේ සවස (මැයි 01) දක්වා නැගෙනහිර පළාතේ සේරුනුවර, සමන්තුරෙයි, එරාවූර්, කල්මුණේ ප්‍රදේශ වලද, කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ ද ආරක්‍ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

සමන්තුරේ නගර ප්‍රදේශයේ සිදුකල වටලා සෙවීමේ මෙහෙයුමේ දී ජෙලිග්නයිට් කූරු 200 ක්, සේවා නූල්, ඩෙටනේටර් 200 ක්, පිස්තෝල 2 ක්, පිස්තෝල උණ්ඩ, ටී .56 මැගසිනයක්, එම උණ්ඩ 170 ක් සහ ඇමෝනියා පැකට් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට හැකි විය.

මේ අතර ප්‍රදේශයේ ජනතාවගෙන් ලද තොරතුරකට අනුව එරාවුර් ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක දී ටී 56 මැගසින් 6 ක්, ටී -56 පතොරම් 362 ක්, එම් පි එම් ජි පතුරම් 1 ක්, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 2 ක්, පිහි දෙකක් සහ පාවිච්චියට නුසුදුසු කඩුවක් සොයාගෙන ඇත. වාන් ඇළ සහ සේරුනුවර යන ප්‍රදේශ වල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වායු රයිෆල් 2 ක්, කඩු 5 ක්, සැක කටයුතු යතුරු පැදි 3 ක්, දේශීයව නිෂ්පාදිත තුවක්කුවක් සහ පැරණි සේරුවාවිල බෞද්ධ විහාරස්ථානයේ සිතියමක් සොයාගෙන ඇත.

යුද්ධ හමුදා භටපිරිස් විසින් කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී පෙට්‍රල් බෝම්බ 11 ක්, වෝකි -ටෝකි යන්ත්‍ර 2 ක්, විදේශ ගමන් බලපත්‍ර 16 ක්, පිහි 09 ක්, ජංගම දුරකථන 12 ක්, වයි -ෆයි රවුටර් 4 ක්, අත් බෝම්බ 2 ක්, අත් පොරෝ 8 ක්, කඩු 3 ක්, නන්චකු 1 ක්, දුරදක්න 1 ක්, ජීපීඑස් යන්ත්‍ර 1 ක් සහ කාන්තාරවල භාවිතා කරන යුද්ධ හමුදා කැලෑ ඇදුම් වලට සමාන කලිසම් ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.මෙහිදී සැකකරුවන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත භාරදී ඇත.

පසුගිය දින කිහිපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි. අප්‍රේල් 27 වන දින එරක්කණ්ඩි නගරයේ සහ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එරක්කන්ඩි නගරය තුල සිදුකල සෝදිසි මෙහෙයුමක දී වෝටර් ජෙල් කුරු 16 ක්, විදුලි නොවන ඩෙටනේටර් 160 ක්, එකක් අඩි 12 .5 ක් පමණ දිග සේෆ්ටි ෆියුස් 60 ක් හා සැකකටයුතු යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, ඉරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වෝටර් ජෙල් කූරු 48 ක්, විදුලි නොවන ඩෙටනේටර් 55 ක් සහ එකක් අඩි 14 .5 දිග සේෆ්ටි ෆියුස් 34 ක් සොයාගෙන ඇත. ජින්නපුරම් ප්‍රදේශයේ නාවික හමුදා භටපිරිස් සිදුකල පා මුර සංචාරයක දී එක් වෝටර් ජෙල් බටයක්, විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සහ සේෆ්ටි ෆියුස් එකක් සොයා ගන්නා ලදී. තවද පානම, පොතුවිල් හන්දිය පාලම අසල දී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සහ මීටර් 53 ක් දිග සේෆ්ටි ෆියුස් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කිරියන්කල්ලි ,මුල්ලාචිකුලම්හි සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී අදහස් සහිත පත්‍රිකා විශාල තොගයක්, ජංගම දුරකථන සහ පරිගණක උපාංග තොගයක් සමග සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද කනුවන මුද්‍රණාල වත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක්කදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මඩකළපුව, තන්නමුනෙයි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ජෝශප් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය යුද්ධ හමුදා පුර්ණ ආරක්‍ෂාව යටතේ සිදුකරන ලදී. මේ සඳහා බැතිමතුන් 800 ක් පමණ ද කතෝලික පූජකයන් 125 ක් පමණ ද සහභාගි වූහ.