මත්තල ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටේ ගැටළු විසදීමට
ආරක්‍ෂක ලේකම් මැදිහත් වෙයි

ජුනි 17, 2025

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටළු සාකච්ඡා කිරීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජුනි 17) දින රැස්වීමක් ආරක්‍ෂක අමාත්‍යංශ පරිශයේදී පැවැත්වීණි. වන අලින්ගෙන් ගුවන්තොටුපල ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී මූලිකවම අවධානය යොමු විය.

ගුවන්තොටුපළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙපාර්ශවයටම ඇති විය හැකි තර්ජනයන් හඳුනා ගනිමින්, ගැටලු විසදලීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අනෙකුත් පාර්ශ්වකරුවන් හට ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදි. තවද, ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගතයේ එවැනි සිදුවීම් වළක්වා ගැනීම වෙනුවෙන් ගත හැකි දිගුකාලීන හා තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කම ද අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ. මෙම අවස්ථාවේ පැමිණි සිටි පාර්ශවයන් ආරක්‍ෂිත වැට ශක්තිමත් කිරීම කෙරෙහිත් වන සතුන් ප්‍රදේශයේ ගමන් කරන ආකාරය ගැන සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක අඛණ්ඩතාව වැඩිදියුණු කිරීම කෙරෙහිත් අවධානය යොමු කරන ලදි.

ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළ අතර, විසඳුම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම ආයතන අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.