නැගෙනහිර වෙරළ තීරයේ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු
මැඩපැවැත්වීමට රජයෙන් පියවර
ජුනි 19, 2025
ත්‍රිකුණාමලය සිට පොතුවිල් දක්වා විහිදෙන නැගෙනහිර වෙරළ තිරය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ධීවර කටයුතු හා සම්බන්ධ ගැටළු විසඳීම සඳහා රජය මේ වන විට ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් නැගෙනහිර කලාපයේ වෙරළබඩ ධිවර ප්‍රජාවගේ ජීවනෝපායන්ට සහ එම ප්‍රදේශයේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදු වී ඇති අහිතකර බලපෑම ඉස්මතු කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතම්බාව මහතා විසින් මීට පෙර අවස්ථාවකදී ධීවර අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාට ලිපියක් මාර්ගයෙන් දැනුවත් කිරීමටද කටයුතු සිදු කර ඇත.
ඒ අනුව, 2025 ජුනි 05 වන දින පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයකදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් මෙම කරුණ පිළිබඳව පාර්ලිමේන්තුව වෙත අදහස් ඉදිරිපත් කරන ලද අතර, සිය අදහස් දැක්වීමේදී, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටලුවේ බරපතලකම පිළිගෙන සමුද්‍රීය ආරක්‍ෂාව සහ ධීවර ප්‍රජාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහා රජයේ කැපවීම නැවත වරක් තහවුරු කළේය.
තවද, මෙම තත්ත්වය පිළිබද තවදුරටත් සොයාබැලීම වෙනුවෙන් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) නාවික හමුදාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත් වූ අතර, බලපෑමට ලක් වූ වෙරළබඩ ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු සහ ඒකාබද්ධ මෙහෙයුම් ඇතුළුව නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩපැවැත්වීම සඳහා උපායමාර්ගික පියවර ගැනීම කෙරෙහි මෙම රැස්වීම්වලදී අවධානය යොමු කරන ලදි.
මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ගරු ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ප්‍රධාන පාර්ශවකරුවන් එක්ව අද (ජූනි 19) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී දැනට පවතින තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකිරීම හා දේශීය ධීවර ප්‍රජාවන් ආරක්‍ෂා කිරීම, සමුද්‍ර ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සහ සම්බන්ධීකරණ විසඳුම් සකස් කිරීම තුළින් මෙම ගැටළුව කඩිනමින් විසඳීමේ තීරණාත්මක වැදගත්කම සාකච්ඡාවට සහභාගී වූ සියලු පාර්ශ්වකරුවන් විසින් අවධාරණය කළහ. මෙමගින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ මුහුදු තීරයේ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා කෙටිකාලීන මැදිහත්වීම් මෙන්ම මධ්‍ය කාලීන හා දිගුකාලීන උපාය මාර්ග ඇතුළත් බහු-අදියර ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
මෙම සාකච්ඡාවට රජයේ සහ විපක්‍ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ජාතික වෙරළාරක්‍ෂක බලකායේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධීවර අමාත්‍යාංශයේ නියෝජිතයින් මෙන්ම ධීවර සමුපකාර සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.