ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

ජුනි 25, 2025
  • ඔබ මිනුම් නොකළ දේ ඔබට කළමනාකරණය කළ නොහැක - ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය

2025 ලෝක ජල ශාස්ත්‍රීය දින ප්‍රධාන සැමරුම් උත්සවය ජුනි මස 24 දින වැලිසර Wave'n Lake නාවික හමුදා උත්සව ශාලාවේ දී පැවති අතර, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය. “සාගර පතුලේ ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ සිදු කිරීම: සාගර ආශ්‍රිත ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීම” යන තේමාව යටතේ පැවති මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන්, විදේශීය නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, විද්වතුන්, සිසුන් සහ විෂයානුබද්ධව කටයුතු කරන පාර්ශ්වකරුවන් රැසක් මීට සහභාගි වූහ.

ජාත්‍යන්තර ජල ශාස්ත්‍රීය සංවිධානය විසින් පිහිටුවන ලද ලෝක ජල ශාස්ත්‍රීය දිනය, සමුද්‍රීය ආරක්‍ෂාව, පාරිසරික ආරක්‍ෂාව සහ සමුද්‍ර පරිසරයේ තිරසාර සංවර්ධනය සඳහා ජල ශාස්ත්‍රීය දත්ත ඉටු කරන වැදගත්  කාර්යභාරය ඉස්මතු කරයි.

මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) රැස්ව සිටි සභාව අමතමින්, ජාතික සංවර්ධනය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ තිරසාර අයුරින් සාගර පරිපාලනය සඳහා ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරය පිළිබඳ අවධාරණය කළ අතර, “ඔබ මිනුම් නොකළ දේ ඔබට කළමනාකරණය කළ නොහැක.” යනුවෙන් වඩාත් ඵලදායී ලෙස සාගර ක්‍රියාකාරකම් හැඩගැස්වීමේදී ඊට අවශ්‍ය නිරවද්‍ය ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව හා වටිනාකම පිළිබඳවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉස්මතු කරමින්, පසුගිය 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීමට කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළ අතර, එතැන් පටන් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් මෙරට සාගර කලාපය ආශ්‍රිත ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ, නාවික සිතියම් මෙන්ම, ඉලෙක්ට්‍රොනික සිතියම් සකස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා ජාතික අධිකාරිය වශයෙන් සේවය කරමින් සිටී.

“ජල ශාස්ත්‍ර යනු විද්‍යාවෙන් ඔබ්බට ගිය, ජාතික සේවාවකි,” යනුවෙන් ඔහු සඳහන් කළේ මෙරට නිල ආර්ථිකය සංවර්ධනය සහ සමුද්‍රීය ඔරොත්තු දීමේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකාවේ අභිලාෂයන්, නිරවද්‍ය හා කාලෝචිත ජල ශාස්ත්‍රීය දත්තවලින් ලැබෙන පදනම මත රඳා පවතින බව දක්වමිනි.

තාක්‍ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම, අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණුව මෙන්ම, ජාත්‍යන්තර ජල ශාස්ත්‍රීය සංවිධානය සහ උතුරු ඉන්දියානු සාගර ජල විද්‍යාත්මක කොමිසම වැනි ගෝලීය ආයතන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය ධාරිතාවන් ශක්තිමත් කිරීමට ඇති කැපවීම ද, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යළි තහවුරු කළේය.

ආරක්‍ෂිත නාවික ගමනාගමනය, පාරිසරික ආරක්‍ෂාව සහ  ස්වෛරී සමුද්‍රීය පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්‍ෂක ආයතන, අධ්‍යයන ආයතන, වෙරළබඩ ප්‍රජාවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් වැනි විවිධ පාර්ශ්වයන් අන්තර් සහයෝගීතාවය, ඒකරාශි කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා සිහිකැඳවීමකින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ (විශ්‍රාමික), ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු නාවික හමුදාපති සහ වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ (විශ්‍රාමික), IALA ජාත්‍යන්තර විද්‍යාපීඨයේ පීඨාධිපති, වයිස් අද්මිරාල් වින්සන්ට් ඩෙනමූර් (විශ්‍රාමික), නාවික හමුදා ඉහළ පෙලේ  නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධිකාරියේ නියෝජිතයින්, අධ්‍යයන විශේෂඥයින්, විදේශීය නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රික බලකායේ සාමාජිකයින් ද, මෙම අවස්ථාවට සහභාගී වූහ.